අපගේ දැක්ම

සෞභාග්‍යමත් ජන දිවියක් උදෙසා විශිෂ්ඨ රාජ්‍ය සේවයක් .
 

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන දිවිය නංවාලීම.
 
 
හැඳින්වීම
ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාස හතරෙන් එකකි, කොබෙයිගනේ ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසය. මෙම කොට්ඨාසය 'බලදොර කෝරළය' නමින් හැඳින්වෙන  එක් කෝරළයකින් පමණක් සමන්විත වේ.
 
පැරණි පඬුවස්නුවර රාජධානියට අයත්, අනුරාධපුර යුගයේ මහසෙන් රජුගේ නිමාවක් වන මාගල්ල වැවට සහ පොලොන්නරු යුගයේ පළමුවන පරාක්‍රමබාහු රජුගේ වාරිමාර්ග ව්‍යාපාරයට ආසන්නයේ පිහිටි කොබෙයිගනේ ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසය පැරණි රජ දවස සිටම කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාවකගේ වාසභූමිය වූ බවට කොට්ඨාසය පුරා විසිරී පවතින කුඩා වැව් 229 කින් හා අමුණු  05 කින් සෑදුනු වාරිමාර්ග පද්ධතිය සාක්ෂි දරයි.
 
දේශගුණික වශයෙන් අතරමැදි කලාපයට අයත්වන මෙහි වියළි කලාපීය දේශගුණික ලක්ෂණ බහුලව දක්නට ඇති අතර, මෙම කොට්ඨාසයේ සාමාන්‍ය උෂ්ණත්වය 26° පමණ වේ . සාමාන්‍ය වර්ෂාපතනය ඊසාන දිග මෝසම් කාලයේදී මිලි ලීටර්  93.77 ක් පමණ වන අතර නිරිත දිග මෝසම් කාලයේදී මිලි ලීටර් 30.35 ක් පමණ වේ. 
 
කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණය වර්ග සැතපුම්  48.07 ක් පමණ වන අතර මුළු ජනගහනය 40,179කි.  එය ස්ත්‍රී  20,709 ක් හා පුරුෂ 19,470ක් වශයෙන් බෙදී යයි. මුළු ජනගහනයෙන් 87.17% ක් බෞද්ධ වන අතර, සිංහල ජනගහනය 35,740 කි. මුස්ලිම් ජනගහනය 4,365 කි. පන්නව හා වැල්පොතුවැව යන ග්‍රාම නිලධාරී වසම් වල ඔවුහු වැඩි වශයෙන් ජීවත්  වෙති. ඊට අමතරව අනෙකුත් ජන කොටස්ද සුළු වශයෙන් මෙම වසම් වල ව්‍යාප්ත වී ඇත.
 
වර්තමානයේ ප්‍රධාන යැපුම් රටාව කෘෂිකර්මාන්තය මත සැකසී ඇති අතර ප්‍රධාන කෘෂි වගාව වන්නේ වී ගොවිතැනයි. එළවළු වගාව ප්‍රධාන කරගත් අතිරේක බෝග වගාව සහ සත්ත්ව පාලනය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන අතිරේක ආදායම් මාර්ගය වේ. භූමි පරිභෝජනයේදී 60% ක් පොල් වගාව සඳහාද ,15% ක් පමණ  අතිරේක බෝග වගාව සඳහාද  වෙන්ව ඇත.
 
කුඩාම පාලන ඒකකය වු ග්‍රාම නිලධාරි වසම් 35 කින් හා ගම්මාන 138 කින්  මෙම කොට්ඨාසය සමන්විත වේ. එම ග්‍රාම නිලධාරි වසම් 35 සමෘද්ධි කලාප  03 කට බෙදා ඇත. කොට්ඨාසය හරහා දිවෙන ප්‍රධාන මහා මාර්ගය කුරුණෑගල-හලාවත මාර්ගයේ නුගවැල හන්දියත් කුරුණෑගල-පුත්තලම මාර්ගයේ (ඒ-10) විතිකුලිය හන්දියත් යා කරමින්  දිවෙන 12.5 km ක් පමණ වූ මාර්ගයයි. කොබෙයිගනේ  නගරය මධ්‍යයෙන් පාදෙණිය දක්වා දිවෙන මාර්ගය කුරුණෑගල-පුත්තලම මාර්ගයට (ඒ-10) කොබෙයිගනේ නගරය යාකරයි. කොට්ඨාසයේ ඇති සියලුම අතුරු මාර්ග වන මාර්ග 342 ක් මෙම ප්‍රධාන මාර්ගය ඔස්සේ කොබෙයිගනේ නගරයට සම්බන්ධ  වේ.

කොට්ඨාසයේ ජනතාවගේ සංවර්ධනයට හා සුභසාධනයට දායක වන රාජ්‍ය ආයතන අතර ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, ගොවිජන කේන්ද්‍රය , මහජන බැංකුව , ලංකා බැංකුව , ප්‍රධාන තැපැල් කාර්යාලය  මුල් කරගත් උප තැපැල් කාර්යාල , දිසා  රෝහල හා බොරළුවැව ප්‍රාථමික සත්කාර ඒකකය,ආයුර්වේද  මධ්‍යම බෙහෙත් ශාලාව , ශ්‍රී ලංකා පොලීසිය හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ප්‍රධාන වේ. 

එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ පාරිභෝගික හා මූල්‍ය අවශ්‍යතා සපුරාලන ප්‍රධාන ආයතන වන සමුපකාර සමිතිය කොට්ඨාසය පුරා විහිදුන ප්‍රාදේශික 16කින්ද , සමුපකාර සුපිරි වෙළදසැලකින් හා ග්‍රාමීය බැංකු 11 කින්ද යුක්ත වේ.

කර්මාන්ත අංශය සැලකු විට  පොල් ආශ්‍රීත කර්මාන්ත සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි දැකිය හැකිය. ලණු ඇඹරීම , පොල්ලෙලි කැපීම හා කොහුබත් ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ඒ අතර කැපී පෙනේ. මෙයට අමතරව කජු තැලීම , ගඩොල් කර්මාන්තය ආදිය වසම් කීපයක  දක්නට ලැබේ . එමෙන්ම අභාවයට යමින් පවතින පාරම්පරික කර්මාන්ත වන ස්වර්ණාභරණ නිෂ්පාදන , කම්මල් වැඩ , වඩු කර්මාන්තය ආදී කර්මාන්ත කොට්ඨාසය පුරා  සම මිශ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇත .   

උක්ත සම්පත්වලින් හෙබි කොබෙයිගනේ කොට්ඨාසයෙහි ජන ජීවිතය වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ වගකීම එහි කේන්ද්‍රීය පරිපාලන මධ්‍යස්ථානය වන ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය සතු වගකීමක් වන්නේය.

මෙම කොට්ඨාශයේ පරිපාලන ප්‍රධානීන් ලෙස කටයුතු කල උප දිසාපතිවරු / ප්‍රාදේශීය ලේකම්වරු  

නම සිට දක්වා
ආර්.එම්.සී. රණසිංහ මයා 1978 1980
එස්.ඒ. නාගානන්ද මයා 1980 1981
ජේ.එච්. විජේවික්‍රම මයා 1981  
ඩබ්.එම්. පියසේන මයා 1981 1982
එම්.එච්.බී.කේ.එම්.බණ්ඩාර මයා   1982 1993
ආර්.එම්.බී.ආර්. මොන්නන්කුලම මයා 1993 1995
ඩබ්.ජේ. විමලසේන මයා 1995 1998
එස්.එම්. ජයතිලක මයා (වැ.බ) 1998 1999
වී. මාලනී මිය 1999 2000
එල්.දොඩම්කොටුව මයා 2000 2006
එන්.එම්.ජේ. ප්‍රනාන්දු මයා 2006 2009
ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර මයා 2009 2012 
ඒ.එම්.ආර්.කේ. ජයසිංහ මයා 2012.01 2012.06
ඊ.එම්.එස්.පී. ඒකනායක මෙය 2012.06 2016.06.02
එන්.ඒ.ඒ.එස්. ප්‍රියංකර මයා 2016.06.03  2020.01.07
ඩබ්ලිව්.ටී.එන්.සිල්වා මිය  2020.01.09 2025.09.23
ඊ.එම්.පී.පී. ඒකනායක මිය 2025.09.24 මේ දක්වා

News & Events

15
සැප්2023
ඇසළ බැති ගී සරණිය - 2026

ඇසළ බැති ගී සරණිය - 2026

ඇසළ බැති ගී සරණිය -  2026  ...

Scroll To Top